Wednesday, April 20, 2011

දෝංකාරයක දෝංකාරය


එරබදු මලට අමතක වී හිනැහේ ද
කොවුලනි හඬන්නට ගී කඳ වෑහේ ද
අවුරුදු නැකත ගිනිලන සොහොනක සාද
කොවුළිඳු කොහිද අවුරුදු අමතක වී ද...

හදවත ගැහෙන උණුහුම කඳුළැලි වැස්සේ
නෙතදර පිපුණු කරඹ කැළෑ මල් අස්සේ
සුවඳැති කැකුලු පීදෙන්නට පැන් ඉස්සේ
ඇල්ලල මුල්ල අඳුරු ද දාවල තිස්සේ...

නො නැවත මියුරු හඬ සවනට ගලා එතී
නො සිතුව විලස නුඹ ඔය දුර ගියා මැකී
නො කියා කිසිත් මුව ඇඳි මඳහසක පෙතී
නො පියා දෑස නො සිටියෙ කිම කියන් සකී...

පපුතුර රැඳුණු සෙනෙහස අහසට උස ය
උස මිටි නො දැක බෙදුවේ සඳවත රැස ය
සුසුමින් පෙරී ආ මිනිසත්කම ගොස ය
සදලුතලා නොව පිල්කඩ දුන් තොස ය

පරයා ගියේ නැති මිතුරෙකි අනුන් නසා
නැඟුණා රැයෙක තරු පිරිවර ගුවන වසා
බිඳුණා නො වෙද සිහිනය නව ලොවක මුසා
සරනා කළල් දිය බොර කර නැති ද අසා

සගයෙක් නො වෙද අත අල්ලා ගෙන යන්ට
කවියෙක් නො වෙද සංතාපය අවුලන්ට
කොවුලෙක් නො වෙද නො ගැයූ ගීතය වෙන්ට
මිනිසෙක් කොහි ද නුඹ උන් තැන සම වෙන්ට!

No comments:

Post a Comment