Thursday, April 21, 2011

නූතන අඟුල්මල් මවගේ කවිය


පුතේ...... උඹ උපන් දා...
"අහිංසක" උපන් දා වගේ
ලෝකයේ හතරදිග්බාගයේ කඩු කිණිසි දිලිසුණිද නොදන්නෙමි!
මුත් එදා....
අපේ කුස්සියේ නම් මන්න පිහි දිලිසුණා - කියා උඹෙ නෑදෑයො බය වුණා....

පුතේ උඹ ටිකෙන් ටික ලොකු වුණා - මලක් සේ පිබිදුණා
"අහිංසක" වාගේම උඹ රුවින් නැණ ගුණින් සපිරුණා....

Wednesday, April 20, 2011

කවමදාවත් නොඑන දවසක්


අන්ධකාරය පියාඹා විත්
රබර් යායේ ගුලි ගැහෙද්දී
නුඹේ කටහඬ වේදනා පිරිමදිනවා
කුරුල්ලෝ උඹ දන්නවා ඇති
ඉරට කිසිදා ගෙනෙන්ට බැරි
ජීවිතේ මිටියාවතේ
හැර දමා යන්නට බැරි දෙයක් මට තියෙනවා

                                  නුඹේ තුඩගින් ගිලී වැගිරෙන
                                  මතක ලේ පැල්ලම් දකින්නට
                                  වලාකුළු කඳු උඩින් හෙට ඉර නැගෙනවා
                                  කුරුල්ලෝ උඹ දන්නවා ඇති
                                  ඉරට කිසිදා ගෙනෙන්නට බැරි
                                  කවමදාවත් නොඑන දවසක් තියෙනවා

සිංහරාජය පෙනෙන මානේ
කළු ගඟේ එක මුදුන් අත්තක
බොර දියට ඇද වැටුණු කඳුළක් තියෙනවා
කුරුල්ලෝ හැමදාම රෑ මම
බොර දියේ අත පත ගගා
ග‍ඟේ ගිය ඒ කඳුළු බිංදුව හොයනවා

හුදෙකලා වෘක්ෂයට කී කවි

එකෙක් :

බලන්න එය සුන්දරද කෙතරම්
නිල් අහස් පසුබිමක
හුදෙකලාවම නැගී ඇති සැටි
කඳු ගැටය මත

තවකෙක්:

කෙතරම් දුක්බරද
කලෙක සුවිසල් තුරු රජෙකු ලෙස
මේ කදු ගැටය මත වැජඹුනයුරු
මෙකල ජරපත්ව හුදෙකලාවී
ඒ කඳුගැටය මත ඉකිබිඳිනයුරු

දෝංකාරයක දෝංකාරය


එරබදු මලට අමතක වී හිනැහේ ද
කොවුලනි හඬන්නට ගී කඳ වෑහේ ද
අවුරුදු නැකත ගිනිලන සොහොනක සාද
කොවුළිඳු කොහිද අවුරුදු අමතක වී ද...

හදවත ගැහෙන උණුහුම කඳුළැලි වැස්සේ
නෙතදර පිපුණු කරඹ කැළෑ මල් අස්සේ
සුවඳැති කැකුලු පීදෙන්නට පැන් ඉස්සේ
ඇල්ලල මුල්ල අඳුරු ද දාවල තිස්සේ...

නො නැවත මියුරු හඬ සවනට ගලා එතී
නො සිතුව විලස නුඹ ඔය දුර ගියා මැකී
නො කියා කිසිත් මුව ඇඳි මඳහසක පෙතී
නො පියා දෑස නො සිටියෙ කිම කියන් සකී...

පපුතුර රැඳුණු සෙනෙහස අහසට උස ය
උස මිටි නො දැක බෙදුවේ සඳවත රැස ය
සුසුමින් පෙරී ආ මිනිසත්කම ගොස ය
සදලුතලා නොව පිල්කඩ දුන් තොස ය

පරයා ගියේ නැති මිතුරෙකි අනුන් නසා
නැඟුණා රැයෙක තරු පිරිවර ගුවන වසා
බිඳුණා නො වෙද සිහිනය නව ලොවක මුසා
සරනා කළල් දිය බොර කර නැති ද අසා

සගයෙක් නො වෙද අත අල්ලා ගෙන යන්ට
කවියෙක් නො වෙද සංතාපය අවුලන්ට
කොවුලෙක් නො වෙද නො ගැයූ ගීතය වෙන්ට
මිනිසෙක් කොහි ද නුඹ උන් තැන සම වෙන්ට!

ටියුෂන් ගුරුවරයාගේ හෘදය සාක‍්ෂිය

මව්පියන්
කඳුළු දහදිය විකුට
මස්සෙන් මස්ස සරි කළ
දහසින් බැඳි පියලි ගෙන
කුහුඹු රෑණක් විලස
පෙළ සැදී
කොයිබ සිට
කුමට එන්නෙද දරුව ?
කුමක් ගෙන යනු පිණිසද?

සුළඟේ අයැදුම


යටත් වී පරුෂ අව් රැසට
එසවූ දෑත් සදිසිව
මලානික අතු නැගේ අහසට

ගිම් වේගයෙන් සැලී
තැවී ඔද තෙද සිඳී
ජීවිතා'ශා අත් හළ
අතු පතර හෙළයි නන් නන් කුසුම්

වැවක් හා මානව හදක්


මා මිනිසෙක් - නුඹ වැවක් වුව ද
අපි කතා කරමු ද අපි අපි ගැන

හිස්තැනක් ඇත මහද
ඈ රැඳී සිට ගිය තැන
ඈ සිටි හැඩයට ම ගැඹුරට ම හෑරුන

නිල් දිය අස්වැන්න පුරවා ර‍ඳෝගෙන
සුදු පෙන රැළිති නංවා සිනාසෙන
නුඹ ද හිස්තැනකි - හිඩැසකි
මහපොලොව මත නිර්මිත

වැවක් හා මානව හදක්


මා මිනිසෙක් - නුඹ වැවක් වුව ද
අපි කතා කරමු ද අපි අපි ගැන

හිස්තැනක් ඇත මහද
ඈ රැඳී සිට ගිය තැන
ඈ සිටි හැඩයට ම ගැඹුරට ම හෑරුන

නිල් දිය අස්වැන්න පුරවා ර‍ඳෝගෙන
සුදු පෙන රැළිති නංවා සිනාසෙන
නුඹ ද හිස්තැනකි - හිඩැසකි
මහපොලොව මත නිර්මිත